සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

බුදුදහමින් ප්‍රකටවන සමානාත්මතාවය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම 
මහා සංඝ සභාවේ මහානායක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, 
ආචාර්ය 

ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි

වසර විසිනවයක ගිහි ජීවිතය ගත කළ අප මහා බෝසතාණන් වහන්සේ සා අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට එමඟින් සත්‍ය ගවේෂණය කළ නොහැකි බව දැන පසක් කොට අත්තකිලමතානුයෝගය, කාමසුඛල්ලිකාණු යෝගය යන අන්ත්ද්වයෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපදාවට යොමුව පිළිවෙලින් පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය ඥානයන් ලබා උතුම් ජය ශ්‍රී මහා බෝමැඩ දී සව්කෙලෙසුන් නසා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.
පුරා පන්සාළිස් වසක් දෙව්මිනිසුන්ට හිතසුව පිණිස දිවා රෑ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් කටයුතු කළ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. මේ අසිරිමත් තෛ‍්‍රමංගල්‍ය වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනක දී සිදුවුයෙන් ලෝවැඩ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් එම උතුම් දිනය සමරනු ලබයි. බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මය අකාලික බවින් යුක්ත ධර්මයකි.
එම උතුම් ධර්මය ඵදාට පමණක් නොව අද ද මනාව ගැළපේ. වර්තමාන මිනිසා වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය, කුහකකම ආදී නුගුණ හිත්හි දරාගෙන එකිනෙකා පරයමින් නැගී සිටීමට උත්සාහ කරනු ලබයි. ජාති, ආගම්, කුල ආදිය පාදක කොට පුද්ගලයන් අතර විවිධ ගැටුම් අද දක්නට ලැබේ. මෙම තත්ත්වය පුද්ගලයාගෙන් ඔබ්බට ගොස් රටවල් අතර ද අද දක්නට ලැබේ. මේ හේතුව නිසා අද වනවිට රටවල් අතර යුදමය තත්ත්වයන් ද හටගෙන ඇති අතර එමගින් මිනිස් ප්‍රජාවට අත්ව ඇති ඉරණම ඛේදනීය බව වෙසෙසින් සඳහන් කළ යුතු ය.
බුදුදහමේ ඉගැන්වෙන සමානාත්මතා යන්නෙන් අදහස් කරන්නේ සියල්ලන් සමව සැලකීමයි. බුදුරජාණන් වහන්සේ පහළ වූ අවදියේ සමාජය බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ක්ෂුද්‍ර වශයෙන් කුල හතරකට වෙන්ව තිබුණි. එමගින් පුද්ගල සමානාත්මතාවය විභේදනයකට ලක්විය. බුදුරජාණන් වහන්සේ මෙම කුල ක්‍රමය නිර්දය ලෙස විවේචනයට ලක් කළහ. උන්වහන්සේ නිරතුරුව අවධාරණය කළේ එලෙස මිනිසා වර්ග කිරීමට නොහැකි බවත් සියල්ලෝ සමව සැලකිය යුතු බවත් ය. ‘චත්තාරෝ වණ්ණා සම සමා’ යන්නෙන් ඒ බව උන්වහන්සේ මැනවින් පැහැදිලි කළහ. යමෙක් කරන රැකියාව හෝ ඔහුගේ උප්පත්ති තත්ත්වය මත ඔහු කුලහීනයෙක් හෝ කුලීනයෙක් නොවන බවත් ඔහුගේ ක්‍රියාව අනුව ඔහු කුලහීනයෙක් හෝ කුලීනයෙක් වන බවත් වසල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ
‘න ජච්ඡා වසලෝ හෝති – න ජච්ඡා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති – කම්මනා හෝති බ්‍රාහ්මණෝ
යන්නෙන් පැහැදිලි කළහ. මෙමගින් පැහැදිලි වන්නේ ද මිනිස් සංහතියේ සමානාත්මතාව තහවුරු කිරීමට බුදුරජාණන් වහන්සේ ගත් උත්සාහයයි. සුනීත සෝපාක, රජ්ජුමාලා වැන්නන්ට පිහිට වෙමින් ද දුගී පැල්පතකට හා රජ ගෙදරට වැඩමවමින් ද උන්වහන්සේ පෙන්වීමට උත්සාහ කළේ වෙන කිසිවක් නොව සමාජය තුළ පැවැතිය යුතු මේ සමානාත්මතා ලක්ෂණයයි. සිව් මහා ගංගාවන්ගේ ජලය මුහුදට වන් විගස ලවණ රසය ගන්නා සේ ම සිව් මහා කුලයන්ගෙන් බුදු සසුනට පිවිසිය වුනට එකම විමුක්තිය රසය විඳිය හැකි බව බුදුරදුන්ගේ ඉගැන්වීමයි.
බුදුරජාණන් වහන්සේ සීලයේ ස්වභාවය පදනම් කරගෙන සමානාත්මතාව විග්‍රහ කර ඇති බව අංගුත්තර නිකායේ බාල සංගහවත්ථු සූත්‍රයේ දක්නට ලැබේ. සෝවාන් වූවන් සමාන වන්නේ සෝවාන් වූවන්ට පමණි. සකෘදාගාමි වූවන් සමාන වන්නේ සකෘදාගාමී වූවන්ට පමණි. අනාගාමී වූවන් සමාන වන්නේ අනාගාමී වූවන්ට පමණි. රහත් බව ලැබූ උතුමෙක් සමාන වන්නේ රහත් බව ලැබූ උතුමෙකුට පමණි. ඒ බව තවදුරටත් පැහැදිලි වේ. එසේම බුදුරජාණන් වහන්සේ අන්‍යන්ගේ සුවදුක් දෙකෙහි දී සමව කටයුතු කළ අවස්ථා දක්නට ලැබේ. උන්වහන්සේ අන්‍යයන්ගේ සතුට පැසසුමට ලක් කළ අතර, දුක් සහගත අවස්ථාවන් හි දී පිහිට වූහ. එම උතුම් මිනිස් ගුණය උන්වහන්සේ සතුව පිහිටියේ උන්වහන්සේගේ සමානාත්මතාව නිසා ය.
බුදුදහමේ ඉගැන්වෙන සහජීවනය යන්නෙන් අදහස් කරන්නේ සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන් එකට ජීවත්වීමයි. එය මනුෂ්‍ය සමාජයේ තිබිය යුතු උසස්ම ගුණාංගයකි. ‘සමවායෝ ඒව සාධු’ සමගියම යහපති. ‘සමග්ගා හෝථ මා විවදථ’ සමගි වන්න. වාද විවාද නොකරන්න. මෙවන් උපදේශයන් මඟින් මෙන් ම සමගියේ ආදීනව දැක්වෙන බෞද්ධ ජාතක කතා මඟින් ද පැහැදිලි වන්නේ සහජීවනයේ අත්‍යවශ්‍ය වැදගත් බවයි. එකිනෙකා අතර අන්‍යෝන්‍ය සුහදතාව ගොඩ නගමින් පි‍්‍රයශීලිව ඔවුනොවුන් අගය කරමින් ජීවිතය ගොඩ නැගීම සහජීවනයේ ප්‍රමුඛතම ලක්ෂණයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
සමාජය තුළ උසස් පහත් වශයෙන් වෙනසක් ඇති කරන්නේ නම් එය සහජීවනය නොවේ. සියල්ලෝ සමය යන ආකල්පයෙන් කටයුතු කිරීම සහජීවනය තුළ දැකිය හැකි උතුම් ලක්ෂණයක් වේ.
සහජීවනය සඳහා උපකාර වන වැදගත් කරුණක් වන්නේ පන්සිල් සුරැකීමයි. පන්සිල්හි ඉගැන්වෙන අයිතිවාසිකම ඉල්ලීම වෙනුවට යුතුකම් ආරක්ෂා කිරීම කළ යුතු බව බුදුදහම උගන්වයි. යුතුකම් තහවුරු කිරීමෙන් අයිතිවාසිකම් ආරක්ෂා වන බව බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළහ. සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ ද බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සහජීවනයේ ඇති වැදගත් බවයි. සදිසා මඟින් සහජීවනය ගොඩනැගෙන ආකාරය මනාව පෙන්නුම් කර ඇත.
සහජීවනය ගොඩනැඟීමට අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඉවසීම දැක්විය හැකි ය. අදහස්, මතිමතාන්තර, ආකල්ප පුද්ගලයන් අතර විවිධ වේ. එම විවිධත්වය නිසා සමාජ සම්බන්ධතා ගොඩනැගීමේ දී විවිධ ගැටලුවලට මුහුණපානු ලබයි. එවන් මොහොතක පුද්ගලයා සතු ඉවසීම අතිශයින් ම වැදගත් වේ. ඉවසීම නොමැතිවිට සහජීවනය දුරස්වන බව බුදුදහම තවදුරටත් සඳහන් කරයි.
බුදුරජාණන් වහන්සේ තම දර්ශනය ජනතාවට ටික කාලයකින් හඳුන්වා දුන්හ. එකල පැවැති විවිධ ශාස්තෘවරුන්ගේ ගැරහිලි හා දොස්පරොස්වලට බුදුරජාණන් වහන්සේ ලක්වූහ. එනමුත් ඒ සෑම අවස්ථාවක දී ම උන්වහන්සේ ඉවසීමෙන් කටයුතු කළහ. අන්‍යයන්ගේ මතයන්ට නිරතුරුව ගරු කළහ. කිසිවෙක් කිසිවිටෙක හෙළා දැක්වීම නොකළහ. බුදුරජාණන් වහන්සේ සතු වූ ඉවසීම හා අන්‍යයන්ට ගරු කිරීම පිළිබඳ කරුණු දැක්වෙන සූත්‍රයක් වශයෙන් මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රය හැඳින්විය හැකි ය. වරෙක, නිගණ්ඨ ශ්‍රාවකයෙකු වන උපාලි ගෘහපතියා කර්මයේ දී වැදගත් වන්නේ කය යන්න සාකච්ඡා කිරීමට බුදුන් හමුවට යයි. බුදුරජාණන් වහන්සේ සමඟ ඒ කරුණ සාකච්ඡා කළ පසු වඩාත් සිත ප්‍රමුඛ වන බව උගනියි. අනතුරුව බුදුන් වහන්සේ සරණ යෑමට අවසර ඉල්ලයි. බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් සිතා බලන්න යැයි ඔහුගෙන් ඉල්ලා සිටිති. අවසන ඔහු තෙරුවන් සරණ යයි. බුදුරජාණන් වහන්සේ තම පැරැණි ශාස්තෘවරයාට සැලකීම කළ යුතු බවත්, සංග්‍රහ කළ යුතු බවත්, ඔහු අත් නොහැර කටයුතු කළ යුතු බවත් ඔහුට දන්වති. මෙයින් පෙන්නුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ සතු වූ අන්‍යමත ඉවසීමේ ගුණයයි.
බුදුරජාණන් වහන්සේ කිසිවිකෙට අන්‍යාගමික දර්ශනවාද හෝ මතයන් ගැරහීමට ලක් කළේ නැත. ඒවායෙහි පැවැති අසාරත්වය පමණක් ම පෙන්වා දුන්හ. තමන් කෙරෙහි ශ්‍රාවකයන් ඇඳ බැඳ තබාගැනීමටවත් අන්‍යයන්ගේ ශ්‍රාවකයන් තම ශ්‍රාවකයන් බවට පත්කර ගැනීමවත් උන්වහන්සේ සිදු කළේ නැත.
කාලාම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ තම ධර්මයේ යථාර්ථය අන්‍යයන්ට හඳුන්වාදුන් ආකාරය පැහැදිලි වේ. එහිදී බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට සිතීමේ හා විමසීමේ නිදහස මැනවින් ලබා දුන්හ. තම මතවාදය පමණක් නිවැරැදි යැයි ප්‍රකාශ කරන අනෙක් ශාස්තෘවරුන්ට වඩා සහනශීලී නම්‍යශීලී පිළිවෙතක් ඔවුන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කළහ. යමෙක් තලා පෙළා තම දහම පැතිරවීමේ පූර්ණ අවශ්‍යතාවයක් බුදුරජාණන් වහන්සේට නොතිබිණි. මේ කරුණු මැනවින් තේරුම් ගත් කාලාමවරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි පවතින යථාර්ථවාදී ලක්ෂණ අවබෝධ කොටගත්හ. භික්ෂූන්ට ශික්ෂා පැනවීමේ දී ද බුදුරජාණන් වහන්සේ අන්‍යමත ඉවසූහ. ඒ පිළිබඳ නිදර්ශන සූත්‍ර පිඨකයේ දක්නට ලැබේ.
බුදුදහමේ ඉගැන්වෙන සමානාත්මතාව, සහජීවනය හා අන්‍යමත ඉවසීම වර්තමාන සමාජයට අතිශයින් වැදගත් වේ. සමාජ ගැටුම්, රටවල් අතර පවතින ගැටුම්, දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් මේ ආදී විවිධ සමාජ ගැටලු නිරාකරණය කිරීමට මෙම සංකල්පනාවන් අතිශයින් වැදගත් වේ.

☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඇලීම බැඳීම ගැටීමට මුලය

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

පෙර ගිජුලිහිණියෙක් කැට කුරුල්ලෙකු අල්ලා ගත්තේය. බියගත් කැටකුරුල්ලා මෙසේ කියමින් හැඬීය. “අගෝචර වූ අන්සතු විෂයෙහි හැසුරුණු නිසා මා මේ විපතට පත්විය. සිය පිය සතු විෂයෙහි හැසුරුනේ නම් ගිජුලිහිණියාට මා අල්ලාගත හැකි නොවන්නේය” මේ ඇසූ ගිජුලිහිණියා මෙසේ ඇසුවේය. “කැටකුරුල්ල, නුඹ කුමක් කියන්නේ ද? නුඹේ ගොදුරු වූ සිය පිය සතු විෂය නම් කුමක් ද?” නගුලෙන් සීසාන ලද කුඹුරෙහි කැට නැඟුණු තැනය. කැටකුරුල්ලා කීවේය. එවේලෙහි ‘නුඹ එවැනි තැනකට ගියේ ද මාගෙන් නම් නොමිදෙන්නේ යැයි බලයෙන් මානයට පත්ව සිටි ගිජුලිහිණියා පැවසුවේය. එසේ එසැණින් කැටකුරුල්ලා මුදාහැරියේය. කැට කුරුල්ලා ද නඟුලෙන් සාන ලද කැට නැඟී තැනකට ගොස් ලොකු කැටයකට නැඟ ගත්තේය. ‘ගිජුලිහිණිය, දැන් එන්න’ යි කීවේය. ගිජුලිහිණියා වේගයෙන් කැටකුරුල්ලා වෙත පියඹා ආවේය. ඒ මොහොතෙහි ම කැට කුරුල්ලා ඒ කැටෙහි ම ඇතුළතට රිංගා සැඟව ගියේය. වේගයෙන් පියඹා පැමිණි ගිජුලිහිණියා එහිම ළය හැපී වැටුණේය.
“ගෝචරේ භික්ඛවේ, චරථ පෙත්තිකේ විසයෙ ගෝචරේ භික්ඛවේ, චරථං සකේ පෙත්තිකේ විසයේ න ලච්ඡති මාරෝ ඕතාරං, න ලච්ඡති මාරෝ ආරම්මණං ති.”

“සිය පිය සතු විෂයෙහි හැසිරෙන්න. ගෝචර වූ සිය පිය සතු විෂයෙහි හැසිරෙන්නන් මරු අවස්ථාවක් නොලබන්නේය.” මෙය සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තයෙහි අම්බපාලි වර්ගයේ සඳහන් සකුණග්ඝී සූත්‍රයෙහි ඇතුළත් ධර්ම කොටසකි.
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානය වැඩීමට ආරාධනා කරමින් කැට කුරුල්ලාගේ උපමා කතාව ද ඉදිරිපත් කරමින් මෙම උතුම් සූත්‍ර දේශනාව පැහැදිලි කර වදාළේය. යම් අයෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නේ නම් මෙවැනි දෙයක් ම සිදුවන බව තථාගත බුදුරජාණන් වහන්සේ වදාළහ.
එබැවින් අගෝචර ස්ථානයන්හි නො හැසිරෙන්න, අගෝචර වූ, තමාට වූ අයත් නැති විෂයෙහි හැසිරෙන්නා මරු අවස්ථාවක් ලබන්නේය. මරුට අරමුණක් වන්නේය. අගෝචර වූ අන් අය සතු විෂය යනු කුමක් ද? එනම් මේ පඤ්ච කාමයෝය. එම පඤ්ච කාමයෝ මොනවා ද? “චක්ඛු විඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මානාපා පියරූපා කාමුපසංහිතා රජනීයා” “තමා කැමති සිත සතුටු කරවන ප්‍රිය වූ කාමයෙන් යුතු ඇලීම් ඇති, ඇසින් ගන්නා රූපයෝය. කනින් අසා දැනගන්නා වූ ශබ්දයෝය. නාසයෙන් දැනගන්නා වූ ගන්ධයෝය. දිවෙන් ලබා ගන්නා වූ රසයන්ය. කයෙන් දැනගන්නා වූ ස්පර්ශයෝය. මේවා අගෝචර වූ මෙරමා අයත් විෂයයි.
මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්න. මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන්, ගැන මාරයා අවස්ථාවක් ලබන්නේ නැත. මාරයාට අරමුණක් ද ලැබෙන්නේ නැත. මහණෙනි, මහණ හට ගෝචර වූ සිය පියසතු විෂය කුමක් ද?
එනම් සතර සතිපට්ඨානය වැඩීමය. එම සතර සතිපට්ඨානයෝ මොනවා ද? මහණෙනි මෙහි මහණ, කයෙහි කායික ඇවතුම් පැවතුම් බලමින් ද කෙලෙස් තවන වීර්ය ඇතිව මනා වූ සිහිනුවණින් යුතුව පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි දැඩි ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහි නුවණින් සිතෙහි ස්වභාවය දකිමින් ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහි නුවණින් හා නාමරූප ධර්මයන් දකිමින් ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම වූ ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි. මහණෙනි මෙය මහණහට ගෝචර වූ සිය පිය සතු විෂයයි.
මෙහි දී මහණෙනි, යනුවෙන් ආමන්ත්‍රණය කළත්, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිවු පිරිසට ම මෙම උතුම් ධර්ම අවවාදය එකසේ ගැළපෙන්නේය. සසර ගමනෙහි බිය දකින හා එම බියකරු වූ සසර ගමනින් අත්මිදීමට කැමති සියලු දෙනාම ගිහි පැවිදි භේදයකින් තොරව මෙම ධර්ම මාර්ගය අනුගමනය කිරීම අවශ්‍යයයි. අගෝචර ස්ථානයෙහි හැසිරීමෙන් කැට කුරුල්ලාට අත්වෙන්නට ගිය ඉරණමත් අගෝචර ස්ථානය වෙත පැමිණීමෙන් ගිජුලිහිණියාට සිදු වූ ඉරණමත් මෙහි දී පැහැදිලි කරගත යුතුය. කැට කුරුල්ලා අගෝචර ස්ථානයෙහි සහ තමාට නුසුදුසු වූ ආකාරයට හැසිරීමෙන් මහත් විපතකට පත්වන්නට ඉඩ තිබුණි. එනමුත් නුවණින් කල්පනා කොට තමාට ගෝචර වූ ස්ථානයට පැමිණීමෙන් තම ජීවිතය ආරක්ෂා කරගත්තේය. ගිජුලිහිණියා අගෝචර ස්ථානයට පැමිණීමෙන් සහ තමාට සුදුසු නොවන දෙයෙහි යෙදීමෙන් ජීවිත අනතුරකට පත්කර ගත්තාය.
සසර ගමනෙහි ඇති බියකරු බව අවබෝධ කරගෙන එම සසරින් ඉවත්වීමට වෙරදරන භික්ෂුවක් හෝ කවර නම් අයෙක් වූව ද අගෝචර සිත අගෝචර අරමුණ, අගෝචර සංසේවනය මැනවින් දැන ගැනීම අවශ්‍යයයි. සිත කැමති, සිත පිනවන ප්‍රිය ලෙසින් අල්ලා ගන්නා වූ කාමයන්ගෙන් ඇස, කන, නාසය, දිව සහ කය ආරක්ෂා කර ගැනීමට දක්ෂ විය යුතුය. රූපයක් කෙරේ සිතේ පවත්නා ඇලීම සහ ගැටීම කාමයකි. මෙම කාමයෙන් යුතු සිත, එම රූපය කෙරේ ඇති ඇලීම සහ බැඳීම නිසා රාග, දෝස, මෝහ ආදී කෙලෙස් ඇතිකර ගනී. ඒ අකුසල චිත්තයෝය. මෙම අකුසල චිත්තයන් ක්‍රියාත්මක වීමෙන් සතර අපායට වැටෙයි. දුක් විඳිමින් සසර ගමන දීර්ඝ වෙයි. මෙය මරුවාට අවස්ථාවක් ලෙස ද මරුවාට අරමුණක් ලෙස ද විස්තර කෙරිණ. සිත මුල්කොට ගෙන ඇසින් ඇළුන රූපය නිසා, රාගයෙන් හෝ ලෝභයෙන් බැඳේ. එය තමා සතු කරගන්නට දරන උත්සාහයේ දී වේදනා විඳී. වරෙක දුකට පත්වෙයි. අභිජ්ඣාව නම් වූ විෂම ලෝභයට සහ දොම්නසට පත්වෙයි. ඇලී, බැඳී එම රූපය තාවකාලිකව තමා සතු කරගත්ත ද, එම රූපය නම් වූ සංස්කාර වස්තුවෙහි ඇති අන්තර්ගත ස්වභාවය අනුව අනිත්‍ය ස්වභාවයට පත්වන විට සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙයි. ඇළුන සහ සිතින් බැඳුන රූපය නොලැබී යන විට ද්වේෂයට පත්වෙයි. තමාට ද අන් අයට ද විපත් කිරීමට සැරසෙයි. මෙම මාර්ගය පස්පව් දස අකුසල් දක්වා විහි දී ගමන් කළ හැකිය. කාමයෙහි බැඳුන තැනැත්තාට හොඳ නරක හෝ කුසල් අකුසල් මඟ අමතක වෙයි. මගේය, මමය, සදාකාලිකයි, ස්ථිරයි ආදී වශයෙන් සිතින් අල්ලා ගත් අරමුණෙහිම ඇලෙයි, බැඳෙයි. අකුසල් කර්ම රැස් කිරීමට මාර්ගයට නොදැනුවත් ම වැටෙයි. මේ ලෙසින් කනින් ද නැහැයෙන් ද, දිවෙන් ද කයින් ද කාමයන්ට ඇලීම සහ බැඳීමම ගැටීමට මුලකි. එයම දුක් ගොඩක මුලාරම්භය මෙන් ම දුක රැගෙන යාමේ මාර්ගයයි. දුක මැනවින් තේරුම් ගන්නා දුකට හේතුවන විෂයෙහි ම හැසිරීම අනුවණ කමකි. දුක මැනවින් ගන්නා විසින් කළ යුත්තේ දුකෙන් නිදහස්වීමේ මඟ දැන එම මාර්ගයෙහි ගමන් කිරීමය.
පඤ්ච කාමයෝ දුක්ගෙන දෙන බව ඉතාම පැහැදිලියි. සතුටක් ලෙස අභාවිත සිතකට දැනුන ද සැබැවින් ම ලබා ඇත්තේ ද පැමිණ ඇත්තේ ද සතුටක් නොව දුක් ගොඩක් ම බව සතිය හෙවත් මනා වූ සිහිනුවණ පවත්වා ගැනීම පුරුදු කරන කවර නම් අයෙකුට වූව ද වැටහේ. මේ නිසා සතර සතිපට්ඨානය වැඩිය යුතු බව පැහැදිලි කෙරිණ. කායික හැසිරීම් ද ආශ්වාසය ද ප්‍රශ්වාසය ද ඇතැයි ද සත්වයෙක් හෝ පුද්ගලයෙක් නැතැයි ද දැනගනී. මෙම අවබෝධය නම් වූ නුවණ පහළ වන තෙක් අනිච්ච, දුක්ඛ, අනාත්ම, ඔස්සේ විදර්ශනා සිත වඩයි. කිසිවක් මමය, මාගේය කියා අල්ලා නොගනී. උපාදානය කර නොගනී. තණ්හා දිට්ඨියෙන් තොරව වාසය කරයි.

ලෝභය අත්හරින්න අනාගාමීවීම සැක නැත...

ලෝභ සූත්‍රය 

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තොත්, අපිට එපමණකින් ම අසාමාන්‍ය වූ ලාභයන් ඇති කර ගැනීමට භාග්‍යවන්තයෝ වෙන්ට පුලුවන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම කියන කාරණාව අතිශයින් අමාරුයි. ඉතින් අපි දක්‌ෂ වුණොත් ඒ අවබෝධය අදහා ගන්ට, එපමණකින් ම අපට ලොකු වීරියක්‌ උපදිනව. 
යම් කෙනෙක්‌ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තොත්, ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති කර ගත්තොත්, එයා තුළ කැමැත්තක්‌ උපදිනව ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය අවබෝධ කරන්න. එයා ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වෑයම් කරනවා. ඒ විදිහට වෑයම් කරද්දී එයාට පුළුවන් කම තිබෙනව යම් දවසක වීරිය උපදවා ගන්න. වීරිය ඉපදෙනවා. එසේ වීරිය උපදවා ගන්න කෙනා, ඒ ධර්මය අවබෝධ කරනව. 
ධර්මය අවබෝධ කරන්ට කැමැත්ත නැති කෙනා, එක්‌කො මේ ධර්මය පුරුදු කරන්න පුළුවන් කියල කයිවාරු ගහනව, නැත්නම් මේ කාලෙ පුරුදු කරන්න බෑ කියනව. ධර්මයට කැමැත්ත ඇති වුණ කෙනා බෑ කියන්නෙත් නෑ, පුළුවන් කියන්නෙත් නෑ. ඒ කැමැත්ත ඇති වෙන්නේ සිත අභ්‍යන්තරයේ. එපමණකින් ම එයා නිහඬ වෙනව. එයා තුළයි ඒ ධර්මය කෙරෙහි විශ්වාසය තියෙන්නෙ. එයා බලවත් කැමැත්තෙන් ඒ ධර්මය පුරුදු කරන්න වෑයම් කරනව. එයාට කරන්න කටයුත්තක්‌ තියෙනව. 
එයාට වැඩක්‌ නැති දේ කරන්ට වෙලාවක්‌ නෑ. එපමණකින්ම එයා සංවරයි. එයාට වැඩක්‌ නැති දේ හිත හිතා ඉන්ට වෙලාවක්‌ නෑ. එයාට අර්ථ රහිත දේ කරන්ට වෙලාවක්‌ නැත්තෙ අර්ථවත් දෙයක්‌ කරන්ට එයා තුළ කැමැත්ත තියෙන නිසා යි. එයා ඒ අර්ථවත් දේ ඉටුකර ගැනීම පිජිස කැමැත්ත මුල්කරගෙන වෑයම් කරනව. 
අර්ථ රහිත දේ තමයි කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. දැන් එයාට අර්ථවත් දෙයක්‌ කරන්ට වුවමනාව තියෙන නිසා අර්ථ රහිත දේ අතහරිනව. එයාට දෙතිස්‌ කතාව කරමින් ළාමක දෙයින් විනෝද වෙන්ට වෙලාවක්‌ නෑ. ඒවා අත්හැරෙනවා. එයාට විශාල කැමැත්තක්‌ තියෙනවා මහත් වූ අර්ථයක්‌ අත් කර ගන්න. ඒ නිසා එයා තුළ නිහඬ බව හට ගන්නව. ඒක ධර්මතාවයක්‌. එයා තුළ අලසකම කම්මැලිකම නෑ. එතකොට ඒ කැමැත්ත මුල්වෙලා එයා වෑයම් කරනකොට, කොහොමද එයා කටයුතු කරන්නෙ? කළ්‍යාණ මිත්‍ර ඇසුරේ, අවවාද ඇසුරු කර ගනිමින්, එයා කීකරුව පුරුදු වෙනවා.. 
එහෙනම් මුලින් ම අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්ට ඕනැ. අදහා ගත්ත කෙනා බලවත් සේ කැමති වෙනවා, ''මමත් ඒ ධර්මය අවබෝධ කර ගන්ට ඕනෑ'' කියල. බලන්න මේ දේශනාව. ඛුද්දක නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙනව 'ලෝභ සූත්‍රය' කියල සූත්‍ර දේශනාවක්‌. ලෝභය අත්හැර දැමීම ගැන වදාළ දෙසුම. මේ දේශනාවෙ තියෙනව මේ විදිහට, භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිදානන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුණේ. ''පින්වත් මහණෙනි, එකම දෙයක්‌ අත් හැර දමන්න. එතකොට ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනව. ඒ එකම එක දේ මොකක්‌ද? පින්වත් මහණෙනි, ලෝභය නම් වූ එකම දෙය අත් හරින්න. එතකොට ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනව''. ඒක විශ්වාස කරන්ට බය හිතෙනවා නේද? මේ ධර්මය අදහා ගන්නවා කියන එක ලෙහෙසි නෑ කියල කියන්නෙ ඒකයි. මේ කාරණය අදහා ගත්ත කෙනා බය නෑ, එයා නිහඬයි. ඇයි ඒක සිත අභ්‍යන්තරයේ ඇතිවෙන විශ්වාසයක්‌. විශ්වාසය නැති කෙනා බය වෙනව. ඒ බය වීම තුළ ධර්මය පුරුදු කිරීම අත හරිනව. 
අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අදහා ගත්තොත් එයා තුළ බලවත් කැමැත්තක්‌ උපදිනවා, 'මම මේක කරන්ට ඕනෑ' කියල. ඊට පස්‌සෙ එයා ඒක කියාගෙන යන්නෙ නෑ. ඒක එයාගේ අභ්‍යන්තරයේ හටගත්ත අදහසක්‌. මතු පිට හටගත්තොත් වතුර උඩට වැටිච්ච දෙයක්‌ වගෙයි. වතුර උඩට වැටිච්ච වටිනාකමක්‌ නැති දෙයක්‌ නිකන් පා වෙවී තියෙනව. අන්න ඒ වගේ තමයි සිතේ බැස ගත්තෙ නැති අදහස. කයිවාරු විදිහට එළියට එනව. 
අදහස බැසගත්ත නම් ඉටුවෙන තෙක්‌ ඒ අදහස එළියට එන්නෙ නෑ. හරියට අදහ ගත්ත කෙනා මැණිකක්‌ වතුරට වැටුණොත්, ඒ මැණික පාවෙන්නෙ නෑ. අභ්‍යන්තරයේ කිඳා බැහැල තියෙනව. අන්න ඒ වගේ. ඒ නිසා අපි මේ ධර්මය කියවා, ඉගෙන ගෙන, අසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසයකට එන්න ඕනැ. එතකොට අපි කැමති වෙයි මේ ධර්මය පුරුදු කරන්න. 
'මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්ට පුළුවනි. 'යම් කිසි කෙනෙක්‌ ලෝභයකින් ඇළුණොත්, ඒ අයට යන්ට වෙන්නේ දුගතියට තමයි. නමුත් ඔය කාරණය විදර්ශනා ප්‍රඥාවෙන් දකින කෙනා ලෝභය අත් හැරල දාන්නෙ අවබෝධයෙන්ම යි. ඒ විදිහට අත හැරල දාපු ආර්ය උතුමන් මේ ලෝකයට කවදාවත් යළි එන්නෙ නෑ'. මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්ම යි. මේ විදිහට මා හට අසන්නට ලැබුණා. එතකොට ඒක භාග්‍යවතුන් වහන්සේ විසින් ම කියා දුන්න දෙයක්‌. 
ධර්මය අදහා ගත්තොත්, අපි කැමති වෙනව, මේ ධර්මය අවබෝධ කරගන්න. මෙහෙම හිතමු, අපි යම් දෙයක්‌ විශ්වාස කරනව, විශ්වාස කරල ඒක කරන්ට වෑයම් කරනව, එතකොට වෑයම් කරන්ට කරන්ට විශ්වාස කරන දේ තමන්ට තහවුරු වෙනව නේද? අන්න එතකොට වීරිය උපදිනව නේද?. ඒ කෙරෙහි විශ්වාසය ඇති නොවුණොත්, කැමැත්ත උපදින්නෙ නෑ. කැමැත්ත ඉපදුනේ නැති කෙනා වෑයම් කරන්නෙ නෑ. වෑයම් නොකරන කෙනාට ඒක ප්‍රත්‍යක්‌ෂ වෙන්නෙ නෑ. ප්‍රත්‍යක්‌ෂ නොවන කෙනාට වීරිය උපදින්නෙ නෑ. 
එතකොට එයාට උපදින්නෙ නිදිමත, අලසකම, එකට එක කරන ගතිය, ඇද කුද හොයන ගතිය, ඒවම තමයි උපදින්නෙ. ධර්මය කෙරෙහි විශ්වාසයට ආපු කෙනා තුළ අවබෝධ කර ගන්ට ඕනැ කියල කැමැත්ත උපදිනව. එසේ කැමැත්ත ඉපදුණු කෙනා ටික ටික වැයම් කරන්ට පටන් ගන්නව. ඒ වෑයම් කරන කෙනාට, ඒ අදහා ගත්ත දේ ගැන වැටහෙන්ට පටන් ගන්නව ටික ටික. ප්‍රත්‍යක්‌ෂ වෙනව කියන්නෙ ඒකයි. අන්න එහෙම ප්‍රත්‍යක්‌ෂ වෙන කෙනාට වීරිය උපදිනව. වීරිය ඉපදුනායින් පස්‌සෙ එයා බලවත් සේ වීරිය කරල මේ ධර්මය අවබෝධ කර ගන්නව.
ඒ නිසා හොඳට මේ ධර්මය ඉගෙන ගෙන තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ ලෝභය, එහෙම නැත්නම් ආශාව අතහරින්ට කැමැත්ත උපදවා ගන්න. ආශාව අතහරින්ට කැමැත්ත උපදව ගන්න කෙනා තවදුරටත් ධර්මය ඉගෙන ගන්නව. දැන් අපි දන්නව ආශාව කොහෙද හටගන්නෙ කියල. ආශාව අත හරින්න කැමති කෙනා, ආශාව අත හැරීම පිණිස කැමැත්තෙන් වාසය කරනව. එසේ කැමැත්තෙන් වාසය කරන කෙනා තුළ, ඒ කැමැත්ත මුල්වෙලා ම සිහිය පිහිටනව. එයා වැඩක්‌ නැති අර්ථයක්‌ නැති දේ අත හැරල දානව. සිහිය පිහිටනව. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මුල්කරගෙන ආශාව උපදිනවා එයාට තේරෙනව. එහෙම තේරෙනකොට, ඒ ආශාව පවත්වන්ට එයා තුළ කැමැත්ත නෑ. දැන් ආශාව අතහරින්නයි එයාගෙ කැමැත්ත තියෙන්නෙ. එතකොට එයා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත මුල්කරගෙන ආසාව උපදිනවා තේරෙනකොට එයා අකමැති දෙයක්‌ උපදින්නෙ. එහෙනම් අකමැති දෙයක්‌ උපදවන දේට එයා අකමැති වෙනව. 
එයා ඇසට අකමැති වෙනව. කනට අකමැති වෙනව. නාසයට අකමැති වෙනව. දිව, ශරීරය, සිතට අකමැති වෙනව. එයා ඒ ආයතන හතුරො විදිහට, අහිතවත් අය විදිහට තේරුම් ගන්න කල්පනා කරන්ට කැමති වෙනව. එයා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත අනිත්‍ය විදිහට, දුක්‌ විදිහට දකින්න පුරුදු වෙනව. එතකොට එයා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත ගැන ආශ්වාදයෙන් නෙවෙයි කල්පනා කරන්නෙ. අකමැත්තකින් කල්පනා කරන්නෙ. ඒවයෙ ආදීනව දකිමින් කල්පනා කරන්නෙ. යම් දෙයක්‌ කෙරෙහි ආශ්වාදයෙන් යුතුව කල්පනා කර කර යනකොට මොකද වෙන්නෙ. ආශාව උපදිනව. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්න බැඳිල යන දේවල් ගැන ආස්‌වාදයට අනුව කල්පනා කරන කොට ආශාව උපදිනව කියල. දැන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්ත කෙනා ලෝභය අත් හරින්ට කැමැත්තෙන් වෑයම් කරන කොට, ඒ ලෝභය උපදින තැන් ගැන සිහිය උපද්දවගෙන වාසය කරන කෙනා ඇස, කන, නාසය, දිව, ශරීරය සිත කෙරෙහි අකමැත්ත උපදවාගෙන වාසය කරන කෙනා තුළ ආසාව උපදීද? ආශාව නිරුද්ධ වෙන්ට පටන් ගන්නව. හරිද වැරදිද ඒ කාරණාව? හරි. හරි වුණාට ඇයි අපි නොකරන්නෙ. ආරම්භය නෑ. ගමනක්‌ යන්න නම් පය උස්‌සන්ට ඕනැ. පය උස්‌සන්නෙ නැතුව ගමන යනවද? එයා එතනම යි. පය උස්‌සපු කෙනා ගමන යන්ට පටන්ගෙන. 
ඒ නිසා අපි ආරම්භයට එන්න නම්, ධර්මය අහල ධර්මය කියවල ඒ ධර්මය අදහා ගන්න. අන්න එතකොට අපි තුළ කැමැත්ත උපදියි මේ ධර්මය මම අවබෝධ කරගන්ට ඕනෑ කියල. හරියට බැසගත්ත කෙනා නිහඬ කෙනෙක්‌. ලොකු ජලාශයකට වැටිච්ච මැණික්‌ ගල හොයන්න පුළුවන්ද කාටවත්? හොයන්න බෑ. පුංචි වතුරට වැටිච්ච Rජිෙµdaම් කෑල්ලත් හොයන්න පුළුවන්නෙ. අන්න ඒ වගේ හරියට පැහැදීම ඇති වුන කෙනාගෙන් ඒක එළියට පැන පැන යන්නෙ නෑ. එයා නිහඬව තමන්ගෙ කටයුතු කරන කෙනෙක්‌. එයාගෙන් ලෝකයට කරදරයක්‌ නෑ. ලෝකය ම එයාට කරදර කරන්ට උත්සාහ කළත්, එයා හිනාවෙලා නිකන් ඉන්නව 'හනේ කමක්‌ නෑ' කියල. ඇයි එයාට කරන්ට බලවත් දෙයක්‌ තියෙනව. දිය ඇතුළට කිඳා බැස්‌ස මැණික තියෙනව. මිනිස්‌සු ඇවිල්ල ඒ දිය කඳ කළම්ඹනවා. මැණික කැළඹෙයිද? නෑ. කළම්ඹන කට්‌ටිය කැළඹිලා යයි යන්ට. දිය මතුපිටට Rජිෙµdaම් කෑල්ලක්‌ වැටෙනව. පුංචි ලේනෙක්‌ ඇවිල්ල කැලතුවත් කැළඹිලා යනව. අන්න ඒ වගේමයි. මේ ධර්මය හොඳට අදහා ගත්තොත්, කවුරු මොනව කිව්වත් තමන්ගෙ කටයුත්ත එයා පාඩුවෙ කරනව. ලෝකය කැළඹෙන විදිහට එයා කැළඹිලා යන්නෙ නෑ. එයාට බලවත් දෙයක්‌ තියෙනව කරන්න. 
එයා ඒ ලෝභය උපදින තැන් සිහියෙන් දකිනව. ලෝභය, ආශාව උපදින තැන් කෙරෙහි අකමැත්තෙන් වාසය කරනව. දැන් එතකොට එයා තුළ ආශාව ගෙවෙන්ට පටන් ගන්නව. එතකොට එයා තුළ නීවර්ණවලට ආහාර නෑ. නීවරණවලට ආහාර නැත්තෙ ඇයි? එයා වැඩක්‌ නැති දේ අත්හරින්ට කැමැත්තෙන්, සංවරව ඉන්නෙ. ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයක්‌ තුළ ඉන්නෙ. එයා ප්‍රමුදිතයි. නැවුම් හිතක්‌. කලින් තිබ්බ කුණු වෙච්ච හිත නෙවෙයි දැන්. 'අරක මොකක්‌ද, මේක මොකක්‌ද, අරය මෙහෙම කිව්ව. මෙයා මෙහෙම කිව්ව' ඒ වගේ හිත හිතා හිටිය කුණු වෙච්ච හිත දැන් නෑ. දැන් තියෙන්නෙ කොහොම හිතක්‌ද? අළුත් විශ්වාසයක්‌. බලවත් විස්‌වාසයක්‌. බලවත් කැමැත්තක්‌. ඒ හිත නැවුම්. ප්‍රමුදිතයි කියන්නෙ ඒකට. කලින් හිතේ තිබ්බෙ 'අරය මෙහෙම කිව්ව. මෙයා මෙහෙම කිව්ව. මට මෙහෙම වුණා. අරයට මෙහෙම වුණා. මඩ ගොහොරුව කලින් තිබ්බෙ. එතන නීවරණ කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය ඔක්‌කොටම ආහාර තිබුණා.
දැන් ඒ කුණු වෙච්ච හිත නෙවේ, දැන් තියෙන්නෙ අළුත් හිතක්‌. ඒ මොකක්‌ද? 'භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළ, අනේ මටත් ඒක අවබෝධ කරන්ට ඇත්නම්'. එතකොට පරණ කුණු ඔක්‌කොම බැහැරවෙලා. ඒව අමතකයි. ඒව අත්හැරිල. අළුත් දෙයක්‌. ඒ සා හිත නැවුම්. නැවුම් හිතින් වාසය කරන කෙනා ප්‍රමුදිතයි. එසේ ප්‍රමුදිත බවට පත්වෙච්ච කෙනා තව දුරටත් වෑයම් කරන්නෙ ධර්මය තේරුම් ගන්න. එතකොට එයා තුළ නීවරණ වලට අහාර හටගන්න විදිහට නෙවෙයි එයා කටයුතු කරන්නෙ. එයා දැන් ඇසට අකමැතියි, ඇසට පේන රූපයටත් අකමැතියි, කනට අකමැතියි, ශබ්දයටත් අකමැතියි මේ ආදී විදිහට ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මේව කෙරෙහි අකමැත්ත ඇතිකර ගනිමින් තමයි වාසය කරන්නෙ. 
එයා නීවරණවලට ආහාර සපයනවද? ආහාර නොදෙන්ට වෑයම් කරනවද? දැන් එයා නීවරණ වලට ආහාර දෙන්නෙ නෑ. නීවරණවලට ආහාර සපයන්නෙ නෑ. ආහාර නැති කොට මොකද වෙන්නෙ. නීවරණ දුබල වෙනව. දැන් එයා තව දුරටත් සිහි කරන්නෙ, ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත ගැන. අකමැති විදිහටයි සිතන්නෙ. දැන් එයා තුළ නීවරණවලට ආහාර නෑ. කලකදී නීවරණ දුබලවෙලා නීවරණවල බලය නැතිවෙන කලක්‌ එනව. එතකොට හිතේ නීවරණ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. දැන් මොකක්‌ද ක්‍රියාත්මක වෙන්නෙ? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කෙරෙහි ආදීනව අනුව බලන සිතුවිලි හිතේ තියෙන්නෙ. අර නීවරණ වලින් ඇති වෙච්ච පීඩා දැන් නෑ. 
නීවරණවලින් පීඩා තියෙන කාලේ, කමච්ඡන්දයෙන් පීඩාව තියෙනව, ව්‍යාපාදයෙන් පීඩාව, ථීනමිද්ධයෙන් පීඩාව, දැන් ඒව නෑ. ඒ පීඩා නැති තැන හිත විවේකයි. හිතේ විවේකය තියෙනව. දැන් අර තමන් සිහිකරන ධර්මය විතරක්‌ හිතේ තියෙනව. ඒ විවේකය නිසා එයා තුළ විවේකය උපදිනව. දැන් එයා ප්‍රීතියෙන් යුක්‌තව අර ධර්මය ම සිහි කරනව. කලකදී ඒ ප්‍රීතිය නැති වෙලා කය සිත සැහැල්ලු වෙනව. පස්‌සද්ධිය උපදිනව. දැන් එයා තවත් පහසුවෙන් ඒ ධර්මයම සිහි කරනව. කලකදී සිත සැපයට පත්වෙනව. එයා දැන් සැප සේ ඒ ධර්මය ම සිහිකරනව. කලකදී ඒ නීවරණ නිරුද්ධ වෙලා ගිහිල්ල, බලවත් සමාධිය උපදිනව. දැන් එයා ඉතාම සුව පහසුවෙන් බලවත් සමාධිය තුළ ඒ ධර්මයම සිහිකරනව. කලක්‌ යනකොට එයාට ඒ බලවත් සමාධි හොඳින් පිහිටුවා ගන්ට ලැබෙනව. ඒ සමාධිය තුළ වාසය කරන කෙනාට ලෝභය අත්හැර ගන්න පුළුවන් කම ලැබෙනව. 
එනිසා මේ පින්වතුන් අන්න ඒකට කැමති වෙන්න. කැමති වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට ලෝභය අත්හරින්ට කැමති වෙන්න. භාග්‍යවතුන් වහන්සේ අපි උදෙසා ඇප වෙලා තියෙනව. අන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ බලවත් ප්‍රකාශය විශ්වාස කරන්න. විශ්වාස කරන කෙනාට පුළුවන්කම ලැබෙනව මහත් වූ සැප විපාක අත් කර ගන්න. අපිට මේ විදිහට ඇප වෙනව කියල ප්‍රකාශ කරන්නෙ, ඒ විශ්වාස කිරීම එතරම් අමාරු නිසා. ඒ නිසා තමා 'මම ඇපවෙන්නම්' කියල කියන්නෙ? ඇයි එහෙම ඇප වෙන්නම් කියල කියන්නෙ. ඒ විශ්වාසය ඇති කර ගත්තෙ නැත්නම්, එයාට මහත් වූ ලාභය අහිමි වෙලා ආපහු දුක්‌ සහිත වූ සතර අපායේ ඉපදෙමින් සංසාරේ යන්ට සිද්ධ වෙනව. ආන්න ඒකට භාග්‍යවතුන් වහන්සේ කැමති නෑ. කෙනෙක්‌ව සතර අපායෙන් නිදහස්‌ කරගෙන සංසාරෙන් නිදහස්‌ කරගැනීම පිණිස භාග්‍යවතුන් 
වහන්සේට පුළුවන් උපරිම උත්සාහය තමයි මේ අරගෙන තියෙන්නෙ. ඒකයි කියන්නෙ 'මේ ලෝභය අතහරින්න. ඔබ අනාගාමී වෙනව කියල මම ඇප වෙනව' කියල. 
ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය හොඳින් දරාගන්න. එතකොට අපි කාටත් ඒ ධර්මයෙන් මහත් වූ පිහිට ලබාගන්ට පුළුවන්වෙයි. ඉතින් අපි මේ සියලුදෙනාට ම ආශිර්වාද කරනව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම පීණිස බලවත් වූ වීරිය උපදාවා ගැනීමට භාග්‍ය උදාවේවා කියල. 

තෙරුවන් සරණයි...!!!!!

දම්සයුර facebook පිටුවෙනි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පී‍්‍රතිමත් දැහැමි පාලනයක් සඳහා මිහිඳු හිමි දේශනා

මහාචාර්ය 
විලේගොඩ අරියදේව හිමි


මිහිඳු මාහිමියෝ විවිධ පැතිවලින් යුත් සූත්‍රදේශනා රාශියක් පාලක පාලිත දෙපක්ෂය අරමුණූ කොට දේශනා කළහ. පේතවත්ථු හා විමානවත්ථු දේශනාවන් මගින් සියලු දෙනාට අකුසලයේ භයානක විපාකත්, කුසලයේ සැප සම්පත් ලබාදෙන බලයත් ආකර්ෂණීය ලෙස පහදා දුන්නාහ.
රටක සාමයත් සෞභාග්‍යයත් පිරුණ දැහැමි පාලනයක් සඳහා පාලක හා ප්‍රජාව යන දෙපක්ෂයේම සහයෝගය අවශ්‍යය. අනුබුදු මිහිඳු මාහිමියන් අප රටට දායාද කළෝ හුදු ආගමික ඇදහිල්ලක් නොවේ. පුද්ගලයාගේ මෙලොව, පරලොව, එසේම ලෞකික ලෝකෝත්තර යන අංශ දෙකෙහිම සංවර්ධනය ඒකාන්ත වශයෙන් ඇතිකරන පරිපූර්ණ දහමකි, අපට උන්වහන්සේ ලබා දී ඇත්තේ බුදුදහමත් සමඟ දහ අටක් ශිල්ප ශාස්ත්‍රයන්ද ඒ හා බැඳුණු ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයක් සඳහා උපදේශනය ද පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් හා දැහැමි පාලන ක්‍රමයක්ද ඊට ඇතුළත්ය. උන්වහන්සේ අප වෙත ගෙනා බුද්ධ දේශනාව මානව චින්තනයේ අග්‍රඵලය වූ කිසිවකුට අභියෝග කළ නොහැකිවූ අසම සම දර්ශනයකි. භාරතයේ උපත ලැබූ බුදුදහම සුරක්ෂිත කරගැනීමේ වාසනාව අප සතුවිය.

අපේ මේ පුණ්‍යභූමිය පෘතුගීසි, ලන්දේසි, ඉංගි‍්‍රසි හා දකුණු ඉන්දීය ආක්‍රමණයෙන්ද, අප වසර තිහක් භයානක ලෙස අත්විඳි ත්‍රස්තවාදයෙන්ද ආරක්ෂා වුයේ අහම්බයෙන් නොවේ. මහාවංශයේ පස්වෙනි පරිච්ඡේදයේ දැක්වෙන අප බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී සක්දෙවි රජුන් අමතා ඔහුට පැවරූ කාර්ය බොහෝ දෙනා අමතක කරති. ඒ කුමක්ද?
විජය කුමරා ඇතුළු සත්සියයක් සෙනඟ අද දින ලංකාවට ගොඩබසින බැවින් ඔවුන්ට රැකවරණය ලබාදී මාගේ සම්බුදු සසුන ලංකාවේ පිහිටන බැවින් ලංකාවත් සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කරදෙන ලෙස බුදුරදුන් සක්දෙවියන්ට දන්වා සිටි කාරණය සක් දෙවියන් ඇතුළු සම්‍යග් දෘෂ්ටික දෙවියන් විසින් ඒ අයුරින් ඉෂ්ටකර ඇති බව දෙදහස් පන්සියයක ඉතිහාසය සාක්ෂි දරයි.
සම්බුදු සසුන සැමදා ආරක්ෂාවූයේ දැහැමි පාලකයන්ගේත් ජාතියේ මුරදේවතාවන් ලෙස සැලකෙන ගරුතර සංඝරත්නයේත් අනුග්‍රහ හා කැපවීම නිසා ය. මෙහිදී පාලක හා පාලිත යන දෙපක්ෂයේම වගකීම අති විශාලය. බොහෝ දෙනා අතර වඩාත් ප්‍රචලිත මිහිඳු දේශනාව ලෙස සාකච්ඡාවන්නේ බුදුදහම යනු කුමක්දැයි පිළිවෙලින් හඳුන්වාදුන් චුල්ලහත්ථි පදෝපම සූත්‍ර දේශනාවයි. එම සුත්‍ර දේශනාවෙන් තිස්ස රජතුමාත් මැති ඇමැතිවරුන් හා රැස්ව සිටි ජනතාවත් බුද්ධ, ධම්ම, සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය කුමක්දැයි හඳුනා ගනිමින් තිසරණ සරණ ගියහ. තිසරණ සරණ යාමෙන් සීලය පුරා, නීවරණ ප්‍රහීණ කොට ධ්‍යාන උපදවා අභිඥා ඥානයන් ලබමින් චතුරාර්ය සත්‍ය පසක්කොට නිර්වාණ අවබෝධය ලබන ආකාරය දක්වා සම්බුදු දහම යනු කුමක්දැයි පිළිවෙලින් අවබෝධ කරගැනීමට එම සූත්‍ර මහෝපකාරිවිය. විදේශ රටවලට පවා ඇතුන් ප්‍රවාහනය කළ ඇත් ශිල්පය පිළිබඳ මහා අවබෝධයක් තිබුණු රජු හා ජනතාවට එම හත්ථිපදෝපම සුත්‍ර උපමාව අතිශයින්ම සමීප එකක් විය. මෙසේ ක්‍රමයෙන් ලංකාව තුළ සම්බුදු සසුන ප්‍රතිෂ්ඨාපනය විය.
මිහිඳු මාහිමියන් විවිධ පැතිවලින් යුත් සූත්‍රදේශනා රාශියක් පාලක පාලිත දෙපක්ෂය අරමුණූ කොට දේශනා කළහ. පේතවත්ථු හා විමානවත්ථු දේශනාවන් මගින් සියලු දෙනාට අකුසලයේ භයානක විපාකත්, කුසලයේ සැප සම්පත් ලබාදෙන බලයත් ආකර්ෂණීය ලෙස පහදා දුන්නාහ. දේවදූත සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය බාලපණ්ඩිත සූතය අග්ගික්ඛන්ධෝපම සූත්‍රයන් දේශනා කරමින් රජුට හා ජනතාවට සම්බුදු දහමේ පණිවිඩය ලබාදුන් මිහිඳු මහ රහතන් වහන්සේ රටක සදාචාරය හා සෞභාග්‍යය සඳහා වඩාත් වැදගත්වන රාජොවාද ජාතකය, රාජෝවාද සූත්‍රය හා බාලපණ්ඩිත සූත්‍ර දේශනාවන් දේශනා කළහ. අප මෙහිදී පහතින් දක්වන්නේ රාජෝවාද සූත්‍රයෙහි එන ගාථාවන් දෙකකි.
“ගවං චෙ තරමාණනං– ජිමහං ගච්ඡති පුංගවෝ 
සෙසා ජිව්හා ගච්ඡන්ති – නෙතෙන ජිමෙහ ගතෙසති 
ගවං චෙ තරමානානං – උජුං ගච්ඡති පුංගවො 
සෙසා උජුං ගච්ඡන්ති – නෙතෙත උජු ගතෙ සති”

ගඟකට බැස එගොඩට යන සිය ගණනින් යුතු ගවරැලේ නායක ගවයා, ඉදිරියෙන් ගමන් කරයි. (තරණය කරයි) ඒ නායක ගවයා ඇදට ගමන් කරයි. සෙසු ගවයෝ සියලුදෙනා ඇදට ගමන් කරති. නායක ගවයා ඍජුව ගමන් කරන විට සෙසු ගවයෝද ඍජුව ගමන් කරති. ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට ගිය අවස්ථාවක මෙය මම හොඳින් දුටුවෙමි. ගඟට බැස හිස උඩට තබාගෙන ගඟ තරණය කරණ ගව නායකයාගේ හිස හැරෙන දිසාවට සෙසු ගවයන් සියලු දෙනාගේ හිස එම දිසාවට හැරෙන අයුරු දුටු මට මෙම බුද්ධ දේශනාව කොතරම් අපූරු ද යන්න වැටහුණි.
මෙම කාරණය පාලක පන්තිය හා හොඳින් ගැලපෙන අතර එය රාජ්‍ය පාලනයට සීමා නොවේ. පාසලේ විදුහල්පති, පන්සලේ විහාරාධිපති, ආයතනයක පාලකයා යන මේ සියලු දෙනා කෙරෙහි මෙම උපමාව අදාළ වේ. රටක් දැහැමි වන්නේ එම රටේ තිබෙන ආගම අනුව නොවේ. කොතරම් නිවැරැදි ආගමක් දර්ශනයක් උරුම වුවත් රටේ රාජ්‍ය පාලනය ආර්ථිකය පරිහානිට ලක්වි තිබේනම් ඒ රටෙහි සදාචාරය බිඳ වැටී මිනීමැරුම් ස්ත්‍රි දූෂණ මංකොල්ල කෑම කැරලි කෝලාහල වර්ධනය වී යාම අනිවාර්යය. මිහිඳු මාහිමියන් රටේ පාලකයන්ට මෙම සූත්‍රවලට අමතරව චක්කවත්ති සීහනාද, කූඨදන්ත, අග්ගඤ්ඤ වැනි සූත්‍ර දේශනාවන් දේශනා කළ බවට සැකයක් නැත. බුදු රජාණන් වහන්සේගේ ධර්මය පරිපූර්ණ වු දහමකි. එහි කිසිදු තැනෙක අසත්‍යයක් නැත. යහපත් අරමුණක් සඳහා වුවද මිනිසුන්ට ප්‍රයෝජනවත් වුවද කිසිදා බුදුරජාණන් වහන්සේ අසත්‍යයක් දේශනා නොකරන බව අභය රාජ කුමාර සූත්‍රයෙන් පැහැදිලි කළහ. ඒ අනුව උන්වහන්සේ සත්‍යවූත්, අද්භූතනොවුත් මිනිසාට ප්‍රයෝජනවත් දෙයම දේශනා කළහ. සමහර සත්‍ය පි‍්‍රයවන අතර සමහර දේශනා කෙනෙකුට අමිහිරි ඒවා මිස ඒවා තිත්ත කසාය බඳුය.
මුලින් සඳහන් කළ රාජෝවාද සුත්‍රය හා බාලපණ්ඩිත සූත්‍රදේශනා වන්ගෙන් රජතුමා හා මැති ඇමැති වරුන්ට තදින් අවවාද කළ බවක් මහා වංශයෙහි දැක්වෙන පහත සඳහන් වැකියෙන් පැහැදිලි වේ. “ථෙරො අමෙහ ගාලෙන ඔවදති. ගචෙඡ්‍යයානුඛො? මහින්ද මහතෙරණුවො. අපට දැඩි ලෙස අවවාද කරන්නේ ආපසු වඩින්නවත්ද? මේ සූත්‍ර දේශනාවන් සමඟ තේ සකුණ ජාතක කථාවන්ද සම්බන්ධ කරගෙන ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ තිස්ස රජතුමා ඇතුළු මැති ඇමැති පිරිසට මනාව පැහැදිලි කළේ පාලකයන්ගේ බැරෑරුම් වූ වගකීමයි. බුදුදහම හුදෙක් ලෝකෝත්තර වූ විමුක්තියට සීමාකළ දහමක් නොවේ.
රට වටේම ගලන්නාවූ අලංකාර ගංඟා පද්ධතියකින් හෙබි, සදාහරිත පරිසරයකින්ද ඇල දොල වනාන්තර ඇතුළු භෞතික සම්පත්වලින් පිරීගිය මේ රටෙහි මිහිඳු හිමියන් දේශනා කළ ධර්මය අනුගමනය කළ දසරාජ ධර්මය ක්‍රියාත්මක කළ පාලක පිරිස අහසින් වැටෙන වැහි බිඳුව මුහුදට ගලා යාම අවහිර කොට ඉදිකළ මහා වැව් අමුනුවලින් තහවුරු කළේ මේ රටේ ආර්ථික සමෘද්ධිය නොවේද? කොසොල් රජුට එදා දේශනා කළ චක්කවත්ති සීහ නාද සූත්‍රයෙන් බුදුරදුන් අවධානය කළේ ආර්ථික සමෘද්ධියෙන් තොර සදාචාරය හිස් වදනක් බවය. නිදහසින් පසුව අප සිදුකළේ මහා පරිසර විනාශයකි. කුඹුරු ගොඩකරමින්, කුරුඳු ඉඩම්, පොල් ඉඩම්, රබර් ඉඩම් ආදිය වෙන්දේසි කොට කරන්නාවූ මහා ජාතික අපරාධයන් ගැන කථා නොකොට හුදෙක් අධ්‍යාත්මික සුවය, පමණක් ගැන දේශනා කිරීම අර්ථ ශූන්‍ය කරුණක් බව අප වටහා ගත යුතුය. ජාතිවාදි ගැටුම් ඉදිරියේදී වුවද මතුවීමට බලපාන ප්‍රධාන හේතු සාධකයන් වන්නේ අක්‍රමික අධ්‍යාපනික ආර්ථික සැලසුම්ය. මිහිඳු හිමියන් තේ සකුණ ජාතකය වැනි ජාතක කථාවකින් ගෙන හැර දක්වන ලද්දේ රටේ සම්පත් නිසිසේ කළමනාකරණය කොට ආර්ථික සමෘද්ධියක් ඇතිකිරීමේ අවශ්‍යතාවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X